Wednesday, 24 March 2021

ලේ උරාබොන ජංගම දුරකථන තවත් මරාලයක්.


        මෙය නිකම්ම නිකම් මරාලයක් නොවේ. ඩ්‍රකිව්ලා පන්නයේ මරාලයකි. එසේත් නැත්නම් මාපිලා පන්නයේ මරාලයකි. ඩ්‍රකිව්ලා ලේ බොන විටත් මාපිලා ලේ බොන විටත් සනිපයට නින්ද යයි. ඒ වගේම දුරකථන සමාගම් විසින් අපට සැප නින්දක් ලබාදෙයි. අපේ ලේ උරා බී ඇති බවට අපට වගේ වගක් නැත. මෙම කථාවද ඒ වගේමය.


        මෙහි ඉහත පලවන්නේ මා වෙත සේවා සපයන සුප්‍රසිද්ධ දුරකථන සමාගමකින් මා ලබාගන්නා දුරකථන සේවාව සදහා 2021.03.03 දින ලබාගත් භාවිතාව පිළිබද උපුටනයකි. වෙනත් මාස වලට සාපේක්ෂ්ව මෙම මාසයේදී මවිසින් ලබාගත් ඇමතුම් ප්‍රමාණය ඉතා සීමිත විය. නමුත් භාවිතාව පිළිබද දිනපතා හෝ දින දෙකතුනකට වරක් අදාල සමාගමෙන් ලැබෙන එස්එම්එස් පණිවිඩය පරිදි මගේ දින 23 ක බිල රුපියල් 850.29ක් විය. මෙම භාවිතාව පිළිබද තවදුරටත් පරික්ෂා කළ අතර මා ලබාගෙන ඇත්තේ රුපියල් 333.78 ක දුරකථන ඇමතුම් පමණි. ඉතිරි රුපියල් 516.51 ම මවිසින් ලබාගත් ඇමතුම් සදහා හෝ මගේ ඉල්ලීම පරිදි ලබාගත් සේවාවන් සදහා නොවේ. මේ පිළිබදව අදාල ආයතනයෙන් විමසු අතර ඔවුන් විසින් පවසන ලද්දේ ස්වයංක්‍රියව ක්‍රියාත්මක වූ පහසුකම් සදහා එම මුදල අයකළ බවයි.

        මා විසින් එවැනි පහසුකම් ඉල්ලා නැති බව අවධාරණය කළ අතර එවිට ඔවුන් විසින් දන්වා සිටියේ අදාල පහසුකම් අද දිනයේ සිට ක්‍රියාත්මක වීම නවතා දමන බවයි. මෙවැනි ගසාකෑම් ස්වයංක්‍රියව ක්‍රියාත්මක කිරීමටත් විරෝධයක් පලවූවිට නවතා දැමීමටත් හැකිනම් මෙවැනි ක්‍රියාවන් නිර්ලජ්ජිත ලෙස අහිංසක මහ ජනතාව ගසා කෑමක් නොවන්නේද? මේවැනි ක්‍රියා සම්බන්ධව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් රජයේ වෙනත් බලධාරිනුත් නිහඩව සිටින්නේ මෙලෙස ගසාකන මුදලින් රජයටද අමතර  බදු මුදලක්ද එකතු වන නිසා නොවන්නේද?

        රුපියල් දෙදහසකට වැඩි මුදලක් මා භාවිතා කරන එකම පසු ගෙවුම් පැකේජය සදහා සෑම මසකම දුරකථන ගාස්තු වශයෙන් ගෙවනු ලබයි. ඒ අනුව මා මෙතෙක් ගෙවන ලද මුදලින් කොපමණ මුදලක් අදාල ආයතනය විසින් ගසාකා ඇත්තේද? මා විතරක් නොවේ ඔබ සැවොම මෙම ගසා කෑමට ගොදුරු වී තිබිය හැක

        අහස උසට බඩුමිල ඉහළ නැග ඇති අවස්ථාවක, රටපුරා පමණක් නොව ලොව පුරා පැතිර පවතින වසංගත තත්වයක් යටතේ මිනිසුන්ගේ ආදායම් මාර්ගයන් අවහිරවී ආර්ථික වශයෙන් ඉමහත් දුෂ්කර තත්වයකට පත්ව ඇති අවස්ථාවක, ලෙඩට දුකට නියමිත ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිවීම මත ඇතැම් මිනිසුන් මියයන අවස්ථවක ජනතාවට සහන සැපයීම වෙනුවට වංචාකාරි ලෙස. නිර්ලජ්ජිත ලෙස  මිනිසුන් ගසාකෑම නතරකර දමන ලෙසත් මෙතෙක් මෙලෙස ගසාකන ලද මුදල් නිසි පරිදි ගණනය කර ඉදිරි බිල්පත් වලට හිලව් කිරීමට කටයුතු කරන ලෙසත් ඔබත් අපත් අප සැවොමත් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිය යුතුය.

        මෙම අකටයුත්ත මට සිදු වූවාට පසු මා මේ පිළිබදව අන්තර්ජාල පරික්ෂාවක් කරන ලද අතර නාගානන්ද කොඩිතුවක්කු නම් නීති‍්ඥ වරයෙකු විසින් කරන ලද යුටියුබ් වීඩියෝවක් හමුවිය. https://youtu.be/EFnkxfmP_po මෙම ලින්ක් එකෙන් එම වීඩියෝවද නැරඹිය හැකි අතර මා මෙම අවස්ථාවට මුහු ණදෙන තෙක්ම එවැනි වීඩියෝවක් පිළිබද මා දැනුවත්ව නොසිටි බවත් නාගානන්ද කොඩිතුවක්කු මහතා සමග මගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් අවධාරණය කරමි. මා කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන බවත් කිසිදු දේශපාලන කටයුත්තක නිරතව නොමැති බවත්, මා විසින් දැනට කරගෙන යනු ලබන ඇතැම් සේවාවන් මත දේශපාලන අයිතිවාසිකම් භුක්ති විදීමට හැකියාවක් නොමැති පුද්ගලයෙකු බවත් වැඩි දුරටත් අවධාරණය කරමි. එහේත් අසාධාරණයට එරෙහිව කටයුතු කිරීමට මට අයිතියක් ඇති බවද සටහන් කරනු කැමැත්තෙමි
 
 
 

No comments:

Post a Comment

බැංකු පොලියට අරියාදුවක්.....

  ඔන්න තවත් මරාලයක් පාත්වෙලා. බැංකුවෙ තියෙන තැන්පත් වලට ලැබෙන පොලියෙන් සියයට දහයක් රදවා ගැනීම් බද්ද කපනවලු. හැබැයි තමාගේ මාසික ආදායම රුපියල්...