Thursday, 27 August 2026

ස්ථාවර තැංපතු සදහා පොලි අනුපාත හෙවත් පේව්මන්ට් සිස්ටම් පොලිය


අද කථාව ස්ථාවර තැංපතු සදහා බැංකුවලින් ගෙවනු ලබන පේව්මන්ට් පොලි අනුපාතය ගැනයි.


ස්ථාවර තැංපතු විවිධ බැංකු විවිධ පොලි අනුපාත ගෙවනු ලබයි. බොහෝ විට එකම බැංකුව එකම මුදල් ප්‍රමාණය සදහා ගනු දෙනු කරුවන් දෙදෙනෙකුට ගෙවන පොලී අනුපාතද වෙනස් වේ. මෙලෙස පොලී අනුපාතතයන් වෙනස් වෙන්නේ ගනුදෙනු කරුවන් විසින් කරනු ලබන කේවල් කිරීම් වලට අනුවය. ලංකාවේ තැංපතු කරුවන් අතරින් විශාල ප්‍රමාණයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වේ. මොවුන් තම ජීවිත කාලය තුළම කුමන ආකාරවලින් හෝ උපයා ගත් මුදලක් ස්ථාවර තැංපතුවක දමා ලැබෙන සොච්චම් පොලියෙන් ජීවත් වෙති. මෙම ගිණුම් හිමියන්ගෙන් බොහෝ අයට බැංකුවල වත්මන් ක්‍රියාකාරිත්වය ගැන අවබෝධයක් නැත. බැංකු කරුවා කියන කුමන පොලියකට හෝ ඔවුන්ගේ මුදල් තැංපත් කරති. මේ අවස්ථාවේදි බැංකු ලබා දෙන්නේ ඔවුනට ලබා දිය හැකි පොලිය නොව ඊට අඩු පොලියකි. කේවල් කිරිමට අවබෝධයක් නොමැති අසරණ තැංපත් කරුවා එයින් සැනසීමට පත්වෙති.  බැංකු කරුවන් සිත්පිත් නොමැති ලෙස ගසා කන්නේ මේ අසරණයන් සතු මුදල්ය.  මෙය මංකොල්ලාකෑමක් හා සමාන අපරාධයකි.


රජය විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහනයක් වශයෙන් මීට ටික කලකට පෙර ලක්ෂ 10 ක තැංපතු මුදලක් සදහා 11.56 ක පොලී මුදලක් ගෙවීමට කටයුතු කරන ලදී. දැන් එම ව්‍යාපෘතිය අවසන්ව ඇති අතර තැංපතු කරුවන්ට දැන්වීමක් නොකරම සියයට 7.25 ක පොලිය මත  අලුත් කර ඇත. මෙම තැන්පත්වලට පමණක් වෙනත් ස්ථාවර තැන්පතු සදහාද කේවල් කිරීම මත වැඩි පොලියක් ලබා ගත හැක. අද රාජ්‍ය බැංකුවල කේවල් කිරීමේ ක්‍රමය අනුව 9.5 දක්වා පොලි අනුපාත ලබාගත හැක. පුද්ගලික බැංකු මෙයටත් වැඩි පොලි අනුපාතයක් තැංපත් කරුවන්ට ලබාදෙයි. මෙම ක්‍රමවේදය තුළ අසාධාරණයට ලක් වන්නේ කිසිවක් කර කියාගත නොහැකි අන්ත අසරණ තත්වයට පත්ව ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ය.


එබැවින් මෙම කේවල් කිරීමේ පේව්මන්ට් ක්‍රමය වෙනුවට සැමටම පොදු උපරිම ස්ථාවර පොලි අනුපාතයක් ලබා දීමට බලධාරින්ගේ අනුකම්පාව සහ අවධානය යොමු වෙත්වා ! ...


Wednesday, 13 May 2026

ත්‍රිකුණාමලයේ සංචාරයේ යන ඔබට.......මෙන්න හොදම නවාතැනක්....


අපේ කණ්ඔඩායමක් මේ ලගකදි ත්‍රිකුණාමලේ විනෝද චාරිකාවක ගියා. හම්බවුණා මාරම නවාතැනක් .  අපේ කණ්ඩායම් 53 ක්. වායු සමනය කළ සුවපහසු කාමර, ආහාර පිළියෙල කර ගැනීමේ පහසුකම්, ඩයිනින් හෝල්,  සම්මන්ත්‍රණ ශාලා ආදි සියළු පහසුකම් මේහිදි ලබාගන්න පුළුවන්. ඒ වගේම  කැමති විධියට විනෝද වෙන්නත් මේ සුථානයේ කිසිදු භාධාවක් නැහැ. ඒවට අවශ්‍ය සියළු පහසුකම් සපයල තිබුණ. අපි දැත්ත විධියට 80 කට පමණ මෙම ස්ථානයේ නවාතැන් ගන්න පුළුවන්. ඒ වගේම මිල ගණන් ඉතාම සාධාරණයි. දවස් දෙකටම අපිට වැයවු මුදල 140000 ක් පමණයි.

මේ ස්ථානය ඉතාමත් පිරිසිදුව පවත්වාගෙන යන තැනක්. කාර්යය මණ්ඩලයෙ ඉන්නෙ තුන්දෙනයි. අපිටම පුදුමයි මේ තුන් දෙනා මේ ස්ථානය මෙතරම් ආකර්ශණිය ලෙස පවත්වාගෙන යන්නෙ කොහොමද කියල.මේ තුන්දෙනා අපේ සියළු අවශ්‍යතාවන් ඉතාමත් කාර්යක්ෂමව හොයල  බැලුව විතරක් නොවෙයි අපේ අවශ්‍යතාවන් සියල්ල ඉටුකරලත් දුන්න. මේක භාරව ඉන්න මහත්තය ශ්‍රිමාල් රවීන්ද්‍ර. එයා හමුදුවෙ හිටපු විශ්‍රාමික රණ විරුවෙක්. එතුමා නිසාම වෙන්න පුළුවන් මේ ස්ථානය මෙතරම් ආකරශණිය ලෙස පවත්වාගෙන යන්නෙ. ඒ වගේම එතුමාගේ සහායක නිලධාරින් වන ඉෂාරා මිනුෂිකා  මහත්මියත් රංජිත් මහතාත් මේ ආයතනයට ලොකු සම්පතක්.

අපේ කණ්ඩායම ලංකාව පුරාම අවුරුදුදකට දෙවතාවක් පමණ සංචාරය කරනව. ත්‍රිකුණාමලයට අපි කීප වතාවක්ම ගියා. අපි වගේ ලොකු කණ්ඩායමකට මේ තරම් පහසුකම් සහිත ස්ථානයක් ත්‍රිකුණා මලේදි හොයාගන්න අමාරුයි. හැවැයි මේ ස්ථානය හොදම දේශීය සංචාරකයින්ට. 

අපේ වගේ ලොකු කණ්ඩායමක් යන කොට රවි මහත්තයත් ඉ ෂාර නෝනත් ඉන්න පින්තූරයෙ තියන බස් එක වගේ ලොකු බස් රථයක තමයි යන්න වෙන්නෙ.. හැබැයි මේ බස් එකනම් ඇතුළට ගත්තෙ අමාරුවෙන්. මේ බස් එක ඇතුළට ගන්න පුළුවන් තත්වයට පාරනම් හදල නැහැ. අපේ රියදුරු මහත්තයගෙ දක්ෂතාව නිසාත් රවි මහත්තය පාරට නැමිල තිබුණ ගස්වල අතු කපල දීපු නිසාත් තමයි අපිට මෙතෙන්ට යන්න පුළුන් වුණේ. ලේලන්ඩ් ලොක් බස් එකක්නම් ලේසියෙන් ගන්න පුළුවන්. ඒත් දැන් දැන් මිනිස්සු යනේනෙ මේ වගේ බස්වල. 

අපි මේ රටේ මිනිස්සු වශයෙන් මේ පළාතේ පලාත් පාලන අධිකාරියෙනුත් විශේෂයෙන් ජාතික දේශපාලන අධිකාරියෙනුත් නිසි බලධාරින්ගෙනුත් ඉල්ලා සිටින්නෙ මේ වගේ ජාතික සම්පතක නිසි ඵල නෙලාගානීමට රටේ ජනතාවට අවස්ථාවක් ලබා දීම සදහා ඉක්මනින්ම මේ පාර අලුත්වැඩියා කර දීම සුදුසුයි වැඩ පිළිවෙලක් යොදන්න කියලයි. ඒක මහ වැඩක් නොවෙයි. දවසකින් කරන්න පුළුවන් වැඩක්. 

සටහන කියවූ සැමට ස්තුතියි. ඔබේ කණ්ඩායම් සහ මිතුරන් අතර බෙදාහරින්න. කවදහරි ප්‍රෙයා්ජනවත් වේවි.

Saturday, 19 July 2025

අහිංසකයන් අන්දවන ප්‍රතිපත්තයක් නැති බැංකු පොලී අනුපාත


 අහිංසකයන් අන්දවන ප්‍රතිපත්තියක් නැති බැංකු පොලී අනුපාත

යමක් කමක් කර ගැනීමට හයිය හත්තිය ඇති එකා තමා සතුව යම් මුදලක් වේ නම් එම මුදල කුමන හෝ ව්‍යාපාරයක යොදවා මුදලක් උපයා ගනී. හයිය හත්තිය නැති වියපත් අසරණයින් ජීවිත කාලය තුළම දුෂ්කර ක්‍රියාවන් කරමින් ඉනට වැරහැලි අදිමින්, ගතට කුමක් හෝ සොච්චමක් ගිල දමා රජයට හෝ වෙනත් එහෙකුට කඹුරමින් ඉතිරි කරගත් මුදල බැංකුවක දමා ලැබෙන මුදලින් දිවි ගෙවති. මෙවැන්න් බොහෝ විට වයෝ වෘධ පුද්ගලයන්ය.

නුඹලාගේ වාරය ඇවිල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා කිව්වාට මොවුන්ට නැගිට ගන්නට හයිය හත්තියක් නැත.කොකාගේ වාරයේදි ලක්ෂ පහළවක් දක්වා ලබා දුන් පොලියද දැන් නැත.ඒත් ලක්ෂ දහයක් දක්වා තැංපතුවකට වෙළදපොළේ පොලියට වඩා වැඩි පොලියක් ලබා දීම තිත්තයාගේ වාරයේ සාධනීය පියවරකි. ඒකත් ලැබෙන්නේ ජ්‍යෙෂ්ළු පුරවැසියන්ට පමණි.

ස්ථාවර තැංපතු සදහා ස්ථාවර පොලී ප්‍රතිපත්තයක් රාජ්‍ය බැංකු තළ නැත. පුද්ගලික බැංකු තම ව්‍යාපාර ප්‍රවර්ධනය සදහා කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කළද ප්‍රශ්නයක් නැත.එහෙත් රාජ්‍ය බැංකු එවැනි ප්‍රතිපත්ති අනුගමනය කිරීම රජයකින් මහජනයාට ලැබෙන සේවයට අවමානයකි.බොහෝ විට ගෙවන පොලිය තීරණය කරන්නේ කළමණාකරුවන්ගේ අභිමතය මතය.‍ ඔවුන් විසින් මයිමෑන් සිස්ටම් එක දරුණු ලෙසටම අනුගමනය කරති.කොටින්ම එය මාළු කඩේ වෙළදාමට සමානය.ඒත් මාළුකඩවලත් දැන් එවැනි පහත්පෙළේ වෙළදදාම් නැත. පේව්මන්ට් වලනම් තව දුරටත් එවැනි වෙළදාම් දැකිය හැකිය. කේවල් කිරීම සිදුවන්නේ ඔවුනට ඇති හිතවත් කම් මතය. හිතවත් කමක් නැති.යමක් කරකියාගත නොහැකි, යමක් නොතේරෙන රූප ශම්පතික් නැති, ආකර්ශණීය පෙනුමක් නැති අහිංසකයාට වෙනම ප්‍රතිපත්තයකි. කල්පිරීමක් අවසානයේදි බැංකුවට ගොස් කේවල් කීරීමක් නොකොළොත් ඉතාමත් අඩු පොලියකට තැංපතු අලුත් කරයි. බොහෝ වයොවෘධ පුද්ගලයින්ට මේවා ගැන අවබෝධයක් නැත. ඔවුන් ලැබෙන දෙයකින් සතුටට පත්වන්නේ වෙනත් කරකියාගත හැකි දෙයක් නැති නිසාය.

කළමණාකරුවන්ගේ කාර්යය සාධනය වැඩි දියුණු කර ගැනීමවට හෝ තම ශාඛාව හෝ බැංකුව ප්‍රමෝට් කර ගැනීමට හෝ මෙවැනි බල තල ලබාදී අසරණයින් ගොනාට ඇන්දවීමකි. ඔවුන්ගො කාර්යය සාධනය වැඩි දියුණු කර ගැනීමට හෝ බැංකුව ප්‍රමෝට් කර ගැනීමට හෝ අනුගමන කළහැකි ක්‍රම තවත් ඕනෑ තරම් ඇත. බොහෝ බැංක සේවකයන් බුම්මන්නන්ය. මූණවල් වල ප්‍රියමනාප බවක් නැත. ගනුදෙනු කරුවන් තුට්ටුවකටවත් ගනන් නොගනී. තමාගේ එකාට පෝලිමටත් ඉහළින් වැඩේ කර දෙති. තමාට වැඩක් ඇති එකෙක් ආවිට තවදුරටත් සේවය අපේක්ෂිතව රැදී සිටිනවුන්ව නොසළකා හරිමින් වල්පල්ද දොඩමමින් කාලය ගෙවති. අසරණයෙක් ආ විට මාරම බිසිය. එහෙන් මෙහෙන් මොකක් හෝ කියා ඔහුව පන්නා ගැනීමට බොරුවට හෝ දුරකථනය උස්සා ගනිති.අහංකාරකම් උද්දච්ච කම් බිමට දමා ගනුදෙනුකරුවන්ට සාධාරණ ලෙස ලෙන්ගතුව ප්‍රියමනාපව සළකන්නේ නම් තම කාර්යය සාධනයට වෙනත් යමක් අවශ්‍ය වන්නේ නැත. තනතුරු ඔටුන්නක් නොවන බව විශ්‍රාම ගිය උන්දෙසවත් බලා මේ අය පාඩමක් ඉගෙන ගත යුතුය.තොප්පිය හැම කෙනාටම පිට් නැත. පිට්වන කෙනෙක් තොප්පිය දමාගත්තාට අමනාපයක් නැත. මල් මිටක් තබා උපහාර කළයුත නෝනා මහත්වරුන්ද එමට ඇත. ඒ අයට මෙම අදහස් අදාල නොවේ.  සිත් සනසා ගත යුත්තේ තම තමන්ගේ හෘද සාක්ෂිය මතය.

විචල්‍ය නොවන ස්ථාවර පොලී අනුපාතිකයක් සෑම බැංකුවකින්ම ගෙවන්නේනම්  අසරණයින් ගොනාට ඇන්දවීම හෝ මයිමෑන් සිස්ටම් එක නවතා දැමිය හැකිය. සාධාරණ ජනතා රජයකින් අපෙක්ෂා කරන්නේ එයයි.රජයට මේ සදහා කිසිදු වැය බරක් නැත. අවශ්‍ය වන්නේ ප්‍රතිපත්තිමය තීරණයක් පමණි. කොටින්ම බැංකු භාෂාවෙන් කියනවානම් කළමණාකරුවන්ට දී ඇති ප්ලේ එක අවසන් කිරීම පමණි. මහ බැංකුව සීයා විසින් ස්වාධීන කළ නිසා මෙව්වා කරන්න බැහැ කියමින් මැසිවිලි නගන්නේනම් තුනේන් දෙකක බලයක් සහිත  ආණ්ඩු මොකටද අප්පා කියා හිතහදාගන්න අමාරුවෙන් හෝ ජීවත් වීමට අහිංසකයන්ට සිදුවනු ඇත.

 

 

Thursday, 9 January 2025

බැංකු පොලියට අරියාදුවක්.....

 


ඔන්න තවත් මරාලයක් පාත්වෙලා. බැංකුවෙ තියෙන තැන්පත් වලට ලැබෙන පොලියෙන් සියයට දහයක් රදවා ගැනීම් බද්ද කපනවලු. හැබැයි තමාගේ මාසික ආදායම රුපියල් ලක්ෂ එකහමාරකට  අඩුයි කියලඔප්පු කළොත් කපාගත්ත බද්ද ආපසු ගෙවනව විතරක් නෙමෙයි ඉදිරියේදි කපන්ඩ එපයි කියල අණ කරණ ඩිරැක්ෂන් එකක්ද මොකක්ද දෙනවලු. ඉතින් කව්ද මේ ඩිරෙක්ෂන් එක දෙන්නෙ. දෙයි හාමුදුරුවන්ට ඔප්පු වෙච්චාවේ දැන් ඉතින් යන්ඩ එපායැ ආදායම් දෙපාර්තමේන්තුවෙ කන්තෝරුවකට.

ඉතින් මේ තැන්පතු තියෙන හැම කෙනෙක්ම කොහොමද අප්ප කන්තෝරුවලට යන්නෙ. ඇවිදගන්න බැරි, ලෙඩදුක් තියන, වයසට ගිය කොච්චරනම් මිනිස්සු තම ජීවිත කාලය තුළ උපයගත්ත සොච්චම් මුදලක් බැංකුවකට දාල ඒකෙ පොලියෙන් ජීවත්වනවද? මේ වගේ උන්දල බොහෝ වෙලාවට ඉන්නෙ හුද කලා වෙලා. ඒ මදිවට රේඩියෝ එකේ හරි ටීවී එකේ හරි පත්තරයක තියන දෙයක් හරි කියවල මේ කතන්දරේ දැනගන්න බැරි අය කොච්චරනම් ඉන්නවද? ඒ මොකක් හින්දවත් නෙවෙයි හරියට කන් ඇහෙන්නෙ ඇස් පෙනේනනෙ නැති නිසා.ඒ වගේම පුංචි මුදලක් තියන මිනිහෙක් මේකට යයිද? රස්තියාදු වෙන්න බැරි හින්දම නොසලකා හරිනව. ඒ මනුෂ්‍යයට ගෙවන පුංචි රුපියල් දහෙයෙනුත් රුපියලක්ම අය කරනවනෙ. ඒ අසරණයට ඒක පුංචි මුදලක් වුණත් මේ වගේ පුංචි පුංචි මුදල් වලින් රජයට කොච්චරනම් ආදායම් ලැබෙනවද? පව් අර අහිංසක මිනිස්සු.

තව එකක්. අපි හිතමු ඔය ගිණුම් තියන මිනිස්සු ඔක්කොම ටික ඔය කන්තෝරුවලට ගියා කියල ඔය ඩිරක්ෂන් එක කියන එක ගන්ඩ. එතකොට කන්තෝරු ගාව කොච්චරනම් තද බදයක් තියෙයිද? තැන්පත් කරුවන් මිලියන හයක් ඉන්නව කියල මහ බැංකවෙන්ම කිව්ව වගෙත් මතකයි. අපි දන්නවලේ රජයේ කන්තෝරුවල කාර්යක්ෂම තාව ගැනත් ඒවයෙ ඉන්න කාර්යය මණ්ඩල ගැනත්. ඇත්තටම ඔය බදු දෙපාර්තමේන්තුවට ඔය වගේ වැඩක් කරන්න ප්‍රමාණවත් කාර්යය මණ්ඩලයක් ඉන්නවද? ඒව ගැනත් හිතන්න ඕනැ නේද ආයුබොවන්. තාමත් අර ටින් එකවත් හරියට දී ගන්ඩ බැරුව ගියා කියමොකො.ඔන්න ඕක ගැන හිතපු රජයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසි මහත්තයෙක් සිතුවම් කරපු කාටුනයක් මටත් එවල තිබුණ. ඒකත් දැකලම තමයි මේ සටහනත් ලිව්වෙ. ඔන්න ඔයාලට බලාගන්ඩත් එක්කම ඒකාටුනයත් ඉහතින් ඇති.

  ඉතින් ඔය ඩිරක්ෂන් එක ගන්න මිනිස්සු කන්තෝරුවලටම යන්න ඕනැමද? අපි කථා කර්න්නෙ ඩිජිටල් ලෝකයක් ගැන නොවෙයිද? ඔය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනවයි කියන RAMIS කියන වැඩ සටහන මගින්වත් මේකට විකල්ප විසදුමක් නැද්ද? ඒ වැඩසටහනින් පුළුවන්ලුනෙ ඕනෘම පුද්ගලයෙක්ගෙ සියළුම බැංකු ගිණුම් ගැන තොරතුරු ලබා ගන්නත්.

ඉතින් මේ කරුණු ගැන නිසි බලධාරින්ගෙ, විශේෂයෙන් ජනාධිපති සහෝදරයගෙ අවධානයට යොමුවෙලා මොකක්හරි පහසු ක්‍රියා මාර්ගයක් අනුගමනය කරයි කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ.


Monday, 14 October 2024

1990 සුව සැරිය ගිලන්රථ සේවය


ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක 1990 සුව සැරිය ගිලන්රථ සේවය ඉතා විශිෂ්ඨ සේවාවක් ශ්‍රි ලාංකික ජනතාව වෙත සපයනු ලබයි. මෙම සේවාව දැනට ක්‍රියාත්මක වන්නේ ආසන්නතම රජයේ රෝහල සදහා යාමට පමණි. බොහෝ අවස්ථාවල රෝගියා සායනික රෝගියෙකුනම් ප්‍රතිකාර ගෙන ඇත්තේ වෙනත් රජයේ රෝහලකින් හෝ පෞද්ගලික රෝහලකින් විය හැක. එවැනි  අවස්ථාවල ආසන්නම රෝහල ලෙස සළකා වෙනත් රෝහලකට රෝගියා ගෙන ගියහොත් ප්‍රතිකාර ලබා දීමේ යම් ව්‍යාකුල තත්වයක් ඇති විය හැක.

තවද රෝගියෙකුට ඇති පෙර අත්දැකීම් අනුව ආසන්නම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට ඔහු බිය විය හැක.මෙවැනි අවස්ථාවලදි රෝගියාට යම් අසාධාරණයක් සිදුවිය හැක.මෙවැනි තත්වයන් පිළිබද නිසි බලධාරින්ගේ අවධානය යොමුකර රෝගියා කැමති රජයේ හෝ පුද්ගලික රෝහලක් වෙත යාමට පහසුකම් සැලසෙන පරිදි මෙම සේවාව වැඩි දියුණු කරන්නේනම් එය වඩාත් ප්‍රශස්ථ සේවාවක් බවට පත්වනු ඇත.

ඉහත පරිදි රෝගියා කැමති රෝහලකට ගෙන යාමේදී ගමන්කරන දුර ප්‍රමාණය සදහා කිලෝ මීටරයට යම්කිසි මුදලක් අය කිරීම පිළිබද එසේ මනාපය ළුලකරන රෝගියාගේ භාර කරුවන් කිසිසේත් විරුද්ධ නොවනවා පමණක් නොව එය රජයට කිසියම් ආදායම් මාර්ගයක්ද විය හැක.









 

Thursday, 23 February 2023

ලෙඩ්ඩුන්ගෙත් ලෙඩ්ඩු.....

 


දිනය 2023 පෙබරවාරි මස 23. කොළඹ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙකු බැලීම සදහා ගියෙමි. වාට්ටුවට ඇතුළු විය නොහැක. පාස් එකක අවශ්‍යතාව සෙකුරිටි මල්ලී විසින් තදින්ම කියා සිටියා. පසුව රෝගියා බැලීමට පැමිණි නිවෙස් අයෙකුට කථාකර ඔහුව කැදවා ඔහු අත තිබු පාස් එකත් රැගෙන රෝගියා බැලිමට යාමට හැකිවිය. එනිසා අද කථාව රෝගියෙකු බැලීම සදහා රෝහලකට යාම ගැනය. මේකත් එක අතකින් මාර මරාලයකි.

රොහල් ගතවු මනුෂ්‍යෙයක් රෝගීන් බලන වෙලාව ලංවූ විට ඔහු බලා සිටින්නේ ඔහුගේ සුවදුක් බැලීමට පැමිණෙන්නේ කව්ද කියාය. එම අවස්ථාවේදි ඔහුගේ මිතුරෙකු ඥාතියෙකු අසල්වැසියෙකු දැකීම ඔහුට රසදුනකි. එමෙන්ම ඉමහත් මානසික සුවයකි. මේ නිසාම ඔහුගේ රෝගි තත්වයෙන්ද යම් සහනයක් ඔහුට ලබාගත හැකිද යන්නද සිතා බැලිය යුත්තකි. එමෙන්ම අමුත්තන් පැමිණිම නිසා කිසියම් ආර්ථික ලාබයක්ද බොහෝවිට සැලසේ. අඩුම වශයෙන් බිස්කට් පැකට් එකක් හෝ රැගෙන රෝගියෙකු බලන්න යාම ලංකාවේ කාරුණික මිනිස්සුන්ගේ සිරිතකි. සෙකුරිට මල්ලි ඉන්නේද රෝගින් බලන වේලාව තුළ පමණි. රෝගින් බලන වේලාව අවසන් වූ පසු වාට්ටුවට එන උන්ට බුරන්න බල්ලෙක්වත් නැත.

එමෙන්ම වචී පරමලාටනම් පාස් එක මරුම මරු සම්පතකි. රෝගියා බැලීමට නොයාමට එය ඔවුන් ලැබූ වරප්‍රසාදයකි. අන්තිමට කියන්නේ අයියෝ මචන් මේ පාස් මගුලක් හින්ද උඹව බලන්නවත් එන්න බැරි වුණා කියාය. මේ වගේ නරුමයන්ද අප අතර නැත්තේ නොවේ.  අවශ්‍යතාවක් තිබේනම් තමාගේ රෝගියා බැලීමට පාස් මගුලක් අවශ්‍යම නැත. අවශ්‍ය වන්නේ මොලය පාවිච්චි කිරීම පමණි.

ඇතැම් වාට්ටු වලට අමුත්තන්ගේ පැමිණිම පාස් එක මතම සිදුකිරිමද අත්‍යවශ්‍ය බවට තර්කයක් නැත. හදිසි අනතුරු වාට්ටුවලට එම අවශ්‍යතාව දැඩිලෙස ක්‍රියාත්මක කිරිම නම් අවශ්‍යමය. එවැනි සීමාවන් නොමැතිනම් රෝහල් ගත කර සිටින තුවාලකරුවෙකු මරා දැමිමට වුවද විරුද්ධවාදියෙකුට කළ හැක. එහෙත් සාමාන්‍ය වාට්ටුවල ට මෙම සීමාවන් යෙදීම අවශ්‍ය වන්නේ කුමන කාරණා නිසාද යන්න තේරුම් ගැනීම පහසු නොවේ. අද යුධ බියක්ද රට තුළ නැත.

පාස් එක හොයන වුන් මාස්ක් එක බලන්නේ නැත. කොරෝනා ඇතත් නැතත්, වයිරස් උණ සෙම්ප්‍රතිස්සා ඇතත් නැතත්, පාස් එකක් වෙනුවට මාස්ක් එකක් අනිවාර්ය කිරීම රෝගින්ගේත් කාර්යය මණ්ඩලයේත් අමුත්තන්ගේත් සුඛ විහරණය සදහා නොවන්නේද? අපේ රටේ මිනිස්සුන්ට ඇත්තේ සම්ප්‍රදායෙන් ඉවත්වීමට ඇති අකැමැත්තයි.

අද රෝහල්වල බෙහෙත් නැත. ජොලියට කරන අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම නැත. නේවාසික රෝගින්ට කෑම බීම ලබාදිමට මේ අසරණ රටේ ආණ්ඩුවට මහා බරකි. එවැනි අවස්ථාවක සුදුළූණු බිකක් හෝ රැගෙන එන අමුත්තෙකු වැලැක්වීම මොනතරම් කරුමයක්ද? තමන්ගේ බඩ ගෝස්තරයට වදින විට පමණක් කෑමොර දෙන අහිංසක රෝගීන් ගැන කිඹුල් කදුළු හෙලන රෝහල් බලධාරිණි, මේ ඔබේ අවධානයටයි.

Monday, 22 August 2022

කොරෝණා ණය සහනයෙන් කොරවු අසරණයෝ.......


 ඔබ බැංකුවකින් හරි එහෙම නැත්තන් මොකක් හරි මුල්‍ය ආයතනයකින් හරි ණය මුදලක් අරගෙන තිබුණද? ඔබ පව් කියල අනුකම්පා කරල කොරෝනා වෙනුවෙන් 2020 වර්ෂයෙදි සහනයක් එහෙම ලැබුණද? එහෙම සහනයක් දුන්නනම් ඒක දුන්නෙ ඔබේ අනුමැතිය යටතෙද? එහෙමනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබ අනුමැතිය ලබා දුන්නෙ ඕන කට්ටක් කන්ඩ එකග වෙලානෙ,

ඒත් ඔබේ අනුමැතිය නැතිවත් ඔයා හොදටම පවු කියල අනුකම්පා කරල සමහර බැංකු ඔබට සහනයක් දුන්න එකගැන නම් සමහර වෙලාවට ඔබ සතුටු වෙන්ඩත් ඇති. ඒත් මේ සහනය අසහනයක් වෙලා ඔබේ හිසමත කඩා වැටුණු බවවත් ඉදිරියේදි කඩා වැටිමට නියමිත බවවත් ඔබ නොදන්නවත් ඇති. ඒ නිසාම මේ සංගෙඩිය ගැන මොනවහරි ලියන්ඩ ඔනැ කියල හිතුණ නිසා තමයි මේ සටහන ලියන්නෙ.

2020 අප්‍රියල් , මැයි සහ ජුනි මාස වලත් ඊට පස්සේ සමහර විට තවත් මාස කීපයක් සදහාත් ඔබේ ණය වාරිකය නොකපා ඔබට සහනයක් දෙන්න ඇති.ඒත් මෙම සහනය නැවත අයකර ගැනීමේදි විවිධ ආයතන විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කළා. ඒ ක්‍රම හැම එකකින්ම ණය කරු අපහසුවට පත්වුවත් හොදටම අසරණ ණයකාරය සූරාකාපු අන්ත අසාධාරණ තුච්ච ක්‍රමයක් ගැනයි මේ හෙලිදරව්.

මෙන්න මෙහෙමයි ඒක කළේ. අපි හිතමු ඔබේණය මුදල නියමිත වාරික ගණන ගෙවා අවසන් කරල 2022 අප්‍රියල් මාසයේ වාරිකයෙන් පසු අවසන් විය යුතුව තිබුණ කියල. ඔබට සහනයක් වශයෙන් මාස තුනක් ණය වාරික අය කරල නැහැ කියලත් හිතමු. ඒ් අනුව තවත් මාසතුනක් ඔබේ ණය මුදලට අදාල අය නොකළ වාරික අයකළොත් ජූලි මාසයේදි ඔබේ ණය මුදල අවසන් විය යුතුයි. ඒහෙමත් කරල සමහර බැංකු කාරයො කළේ ණය මුදල අවසන් වූ දිනය දක්වාම ඔබට පොලියක් එකතු කිරීමයි. ඉහත උදාහරණය අනුව ඔබේ ණය වාරිකය 15000 නම් අයනොකළ වාරික තුනේ වටිනාකම රුපියල් 45000 නම් තවත් රුපියල් 20000 ක පමණ මුදලක් පොලිය වශයෙන් අය කරනව.යම් කිසි කෙනෙක් ලබාගත් ණය මුදල තවත් අවුරුදු 6ක් ඉදිරියට ගෙවිය යුතුනම් ඒ අවුරුදු 6 ටම පොලි අයකරන්ඩ තමයි ක්‍රමය සකස්කර තියෙන්න.

ඔබත් මේ මරාලෙට අහු වුණානම් ටිකක් හිතල බලන්ඩ දැනටමත් ඔබ ප්‍රමාද නැහැ. කොහොම වුණත් ඉල්ලපු නැති සහනයක් ඔබට ලබා දෙන්න බැංකුකරුවෙකුට කිසිදු හැකියාවක් නැහැ. එහෙම සහනයක් ඔබට දුන්නනම් ඔවුන් කරල තියෙන්නෙ ඔබට බලවත් අසාධාරණයක්. මෙම අසාධාරණයට විරුද්ධව ඔබට ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණිලි කරන්ඩත් පුළුවන්.

මෙම උගුලට වැඩියෙන්ම අහුවෙලා තියෙන්නෙ විශ්‍රාමික ණය කරුවන්. බැංකුකාරයො  හිතන්නෙ විශ්‍රාමිකයො කියන්නේ මුකුත් නොතේරෙන බබ්බු කියල. බූරුව කුට්ටමේ ලොකුම එකාගෙ නමට සම්බන්ධ නමක් තියන ආයතනයක නිලධාරියෙක් මේ ලගදි විශ්‍රාමිකයෙකුගෙන් අහල තියනව තමන්ගේ මාසික විශ්‍රාම වැටුපට වැඩි මුදලක් ගන්න කොට ණය වාරිකය කපල නැද්ද කියල දැනගත්තෙ නැද්ද කියල. මේකත් හතරබීරි කථාවක්. ඇයි විශ්‍රාම වැටුපට වැඩි මුදලක් ඔහුගෙ ගිණුමෙ තියෙන්ඩ බැරිද? බැංකුවල ඉන්න උගත් මහත්තුරුන්ට ඒව තේරෙන්නෙ නැද්ද?

මේ සම්බන්ධව ඔබේ අත් දැකීම් අදහස් උදහස් යෝජනා අගය කරමි. මේ කාරණාව සම්බන්ධව තවත් දේ ඉදිරියේදි ...... ආයුබෝවන්....

 

 

 

 

ස්ථාවර තැංපතු සදහා පොලි අනුපාත හෙවත් පේව්මන්ට් සිස්ටම් පොලිය

අද කථාව ස්ථාවර තැංපතු සදහා බැංකුවලින් ගෙවනු ලබන පේව්මන්ට් පොලි අනුපාතය ගැනයි. ස්ථාවර තැංපතු විවිධ බැංකු විවිධ පොලි අනුපාත ගෙවනු ලබයි. බොහෝ ව...