මගේ ජීවිත කාලය තුළ මළ
ගෙවල් දහස් ගණනකට සහභාගි වී ඇත්තෙමි. එම මළ ගෙවල් වලට අදාල මරණ කරුවන් මෙන්ම මළ
ගෙවල්වල අයිති කරුවන් ද විවිධ තරාතිරමේ පුද්ගලයින්ය. දුගී දුප්පතුන් මෙන්ම ඉතාමත්
ධනවත් පුද්ගලයින්ද ඒ අතර විය. දේශාපාලනඥයන් මත් ද්‍රව්‍ය අලවිකරුවන්,බේබද්දන්,මිනිමරුවන්, හොරුන්,
ස්ත්‍රිදුෂකයන්, රාජ්‍ය සේවකයන් කොටින්ම කියතොත් වෙද, සඝ ගුරු ගොවි කම්කරු පංච මහා
බල වේගයම ඒ අතර විය. සමහර මරණ ගෙවල් බුද්ධාගම් කාරයන්ගේය සමහර ඒවා
කතෝලිකයන්ගේය. තවත් සමහරක් දෙමළ හෝ
මුස්ලිම් ජාතිකයන්ගේය. මෙම මරණ කරුවන් සහ අයිති කරුවන් අතර ඉතා සත්ගුණවත්, සිල්වත්,
දානපති, ඉතාමත් වැදගත් පුද්ගලයින් විශාල පිරිසක් මෙන්ම අතරින් පතර දුශ්ශීලයන්ද නොහිටියා
නොවේ.
කවුරු
මළත් මළ ගෙදර අයිති කාරයා මොකා වුණත් අවමංගල සභාවේදි මේ අයගේ ගුණ වයනු විනා
ඔවුන්ගේ දුර්ගුණ කවුරුත් කථා නොකරති. කුඩු විකුණන එකාත් සත් ගුණවත් වෙළද ව්‍යාපාරිකයෙකි.
තරුණ කාලයේ වේශකම් කරපු එකී උපාසක මාතාවකි. නැති බැරි එකාට කිසිම උදව්වක් නොකළ එකා
මහා පරිත්‍යාගශීලි දාන පතියෙකි. උඩ බලාගෙන පාරේ ගිය එකා සමාජ සේවකයෙකි. වරත්තු කම්
කරපු එකාත් උපාසක මහත්තයෙකි. පාංශු කුළයට වැඩම කළ ගරු තර සංඝ රත්නය මේ හැමෝගේම ගුණ
වයති. නිවන්සැප පතති. සුජීවත්ව ජීවත් වන්නන්ට ආයු බල සැප වර්ණ ප්‍රඥා පතති. නුගුණයක්
කිව්වානම් ඒ අන් අයට හැදෙන්නට උපමා රූපක යොදා කිසිවෙකුටවත් අගෟරවයක් නොවන පරිදි
මහා අනුකම්පාවෙන් කරන ලද ධර්ම දේශනාවකි. මේ අපේ සංස්කෘතියේ හැටිය. අපේ හැදිච්චි
කමේ හැටිය. සිංහල බෞද්ධයන්ගේ හැටිය. මේවා උතුම් වූ බුද්ධ ධර්මයේ අනුහසින් අපිට
ලැබුණු දේය.
කරුණු කාරණා මෙසේ වෙතත්
පසු ගිය දිනක ගම්පහට ආසන්න පෙදෙසක මළ ගෙදරකට සහභාගි වීමට මට සිදුවිය. බෞද්ධයන්ට
ඉතාමත් උතුම් දිනයක එළිය වැටෙන විට උපාසක මාතාවක් නිදන ඇද මතම මරා දමා තිබුණි. ඇය
හිමිදිරියේ සිල් සමාදන් වීමට අසල පංසලට යාමට සූදානම්ව සිටි බවත් අසන්නට ලැබුණි.
මරණය සිදුවු ආකාරය ගැන කසු කුසු විවිධ තැන්වල විය. මේ අතර පාංශු කුළයට පැමිණි ගෟරවණිය,
වන්දනීය සංඝ රත්නයේ නායක ස්වාමින්
වහ්නසේගේ දේශණය සිත් සසල කරවන සුළු විය. උන් වහන්සේ දෙසා වදාරන්නේ මරණ කාරියගේ පුතුන්
දෙදෙනාගේ නුගුණමය. එය ඉතාමත් නිර්දය විවේචනයක් විය. ශුවණය කරන්නන්ට වැටහී ගියේ
මරණයේ වගකීමද දරුවන්ට පවරා ඇති බවයි. දරුවන්ගේ කුඩා කාලය මතක් කර දෙමින් ඔවුන්ගේ
පියා විසින් දරුවන්ට උගන්වන්නට පංසලෙන් පවා
මුදල් ඉල්ලා ගත් බව සඳහන් කරමින්, අපහාස කිරීමට යොමු විය. මෙම දරුවන් පංසලට කිසිදු
සම්බන්ධයක් නැති දුෂ්ඨ පිරිසක් බව පුනා පුනා දේශනා කරන ලදි. මෙය අසා සිටි බොහෝ අයට
මාර චුංය. කවුරු අතෑරියත් හාමුදුරුවන් මෙය අතාරින්නේ නැති බව එක් කාන්තාවක්
කියනවාද ඇසුණි. දේවදත්තගේ ගුණ වැයුවත් සාධු කියන මිනිසුන් අප අතර නැත්තේ නොවේ. ඇත්තෙන්ම මෙය කණගාටු දායකය. මෛත්‍රිය
පෙරදැරිකරගත් ධර්මයක් මෙසේ වන්නේ කෙසේද?
මරණ කාරියගේ දරුවන්
දෙදෙනා වරදක් කර තිබුණේ නම් බැණ වැදි හෝ ඔවුන් යහමගට ගැනීමට උත්සාහ කිරීම අප ගරුතර
සංඝයා වහනසේලාගෙන් අපෙක්ෂා කරන දෙයයි. එසේ කළ නොහැකි නම් පාංශුකුලයට පැමිණිය
නොහැකි බව දැන්වීමට හෝ ආරධනය කිරීමට පංසලට ගිය විට කණට දෙකක් ගසා හොද නරක වටහා
දීමට හෝ හැකියාව තිබුණි. අප කුඩා කාලයේ වැරදි කර අසුවු විට ගරු කටයුතු ස්වාමින්
වහන්සේලාගෙන් ගුටි කාපු අව්ස්ථාද නැත්තේ නොවේ. අප වැදගත් මිනිසුන් කළේ උන්
වහන්සේලාය. උන්වහන්සේලා සමග තිබූ ඇසුරය. උන් වහන්සේලා අද කීර්තිමත් මහානායක හිමි
වරුය.
පාංශුකුල චාරිත්‍රයේ
මුළු කාලය තුළම මරණ කාරියගේ දරු දෙදෙනාගේ දුර්ගුණ වයන විට ඔවුන් පිටුපස සිටින අහිංසක
පිරිස් ගැන ගරු ස්වාමින් වහන්සේට වැටහීමක් නොතිබුණේද? ඔවුන්ගේ භාර්යාවන් ඔවුන්ගේ
දරුවන් මේවාට වගකිව යුතුද? ඔවුන්ගේ අනාගතයට කුමක් වන්නේද ? යම් හෙයකින් එම තරුණ
දරුවන් විවාහ ගිවිසගෙන තිබුණේ නම් මොනවා වෙයිද? ඔවන් සේවා ස්ථාන වලට යන්නේ කෙසේද,
ඔවුන්ගේ අධ්‍යාපන ආයතන වලට ඔවුන් යන්නේ කෙසේද? මේ සියළු දේට සම්බන්ද ඥාතින්
හිතවතුන් මෙම අවමංගල සභාවේ සිටිනවා නොවේද? මේවා සිතන්නට තරම් කරුණාවක් නැති
භික්ෂුන් වහන්සේලාගෙන් අප බලාපොරොත්තු වෙන ශාන්තිය කුමක්ද? ඇත්තටම ඇති වෙන්නේ හිත්
වේදනවකි. කළ කිරීමකි. ඒ අර අහිතක් කළායයි කියන පුත්තු දෙදෙනා ගැන නොව, ඔවුන්ගේ
බිරියන්, දරුවන් නිසාය. අඩුම තරමින් මේ දරුවන්ගේ ආච්චි පංසලට ඉතාමත් ලෙන්ගතු
නිර්ලෝභි උපාසක මාතාවක් බව සිතන්නටවත් නොහැකි වුණාද.
යම් කිසි තරුණයන්
පිරිසක් පසුගිය දිනක පංසලට පැමිණි ස්වාමින් වහස්සේලාට හූ කියා අපහාස කළ බව මෙම
ගෞරවණිය ස්වාමින් වහන්සේ විසින් මෙම අවස්ථාවේද සිහිපත් කරන ලදී. ශ්‍රි ලංකාවේ පන්සලකට
මෙවැනි දේ සිදුවන බවද අසන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. මේවා ගැන හිතෙන දේ
ලියවෙන්නේ නැත්තේ හිතන්නටත් යමක් ඔබටත් ඉතුරු කළ යුතු නිසාය. මෙය ගරු සංඝ රත්නය
ගැන කරන විවේචනයක් නොවේ . එවැන්නක් කිරීමට ගිහියන් වන අපට අයිතියක් නැත. එහෙත්
සිද්ධිය ගැන සද්භාවයෙන් අදහසක් ප්‍රකාශ කිරීමට ගිහියන්ට අයිතියක් ඇත. ඒ උතුම් වු
ධර්මය දිවි හිමියෙන් රැක ගැනීමට අපටද අයිතියක් ඇති බැවිණි. හැම දෙයටම සාධු! සාධු!
සාධු! කියන එකාත් බෞද්ධයේ නොවේ. වරදක් දුටු කළ කාට වුවද එය පෙන්වා දීමට ශක්තියක් නැති
එකාත් මිනිහෙක් නොවේ. උතුම් වූ ධර්මයට කැළලක් වෙනකොට එය බලා සිටින එකාත්
බුද්ධාගංකාරයෙකු නොවේ. මේ මට හිතෙන හැටිය. එසේ නොමැතිව මරණ කරුගේ පුතුන් දෙදෙනා
මෙන් පංසලට නොගොස් සිටීමද පිළියමක් නොවේ. ඇත්තටම ඔවන් පංසල සමග සම්බන්ධවී කටයුතු
නොකරන්නේ කුමක් නිසාද යන්න මම නොදනිමි. ඒත් දැන් දැන් එය සිතා ගැනීමට කරුණු
නැත්තේද නොවේ.
මරණ කාරියගේ වැඩි මහල්
ප්‍රත්‍රයා රාජ්‍ය ආයතනයකට සම්බන්ධ ඉතාමත් ඉහළ පෙළේ රැකියාවක් කරන වෘත්තිය
පුද්ගලයෙකි. අනෙක් පුතා වැදගත් රැකියාවක නිරත බව දැන ගතිමි. යම් අයෙකුට තමන්ට රිසි
සේ ජීවත්වීමේ අයිතිය බුදුදහමින් අහුරා නැත. දහමින් කියවෙන්නේ අනිසි දිවි පෙවතක
විපාක ගැනයි. මෙම මරාලය පාත් වෙන්නේ මොවුන් දෙදෙනා මතට නොව මොවුන්ගේ අහිංසක
දරුවන්ගේත් භාර්යාවන්ගේත් හිස් මතය. අවසානයේදි මළවුන් වෙනුවෙන් දෙන හත් දවසේ දානය
දීමේ අවස්ථාවද ඔවුනට අහිමි වන්නේ මෙම කළ බැගෑනිය ඔස්සේ බව දැන ගන්නට ලැබුණි.
අධර්මය කොතනද තෝරා බේරා
ගැනීම ඔබ සතුය............නැවතත් මෙවැනි මරාල සිදු නොවේවායි පතමි. තවත් මරාලයක්
කාට හරි කඩා වැටෙන තෙක් ආයුබෝවන් සැමට.
අකල් මරණ හිමි නොවේවා ! ආයු බෝ වේවා !
No comments:
Post a Comment