Monday, 29 March 2021

ෂර්පයන් දුටුවෙහිද ????

 

        අද කථාව ෂර්පයන් ගැනය. අප සර්පයන් දුටුවේ නැතත් රට පුරාම ෂර්පයන්ය. විෂඝෝර සර්පයන්ය. ෂර්පයන් සැම විටම දෂ්ඨ කරන්නේ නැත. හැබැයි දෂ්ඨ කළොත්නම් සොරිම තමාය. ෂර්පයන් අතර විවිධ ෂර්පයන් ඇත. සාම්ප්‍රදායික ෂර්පයන් හැරුණු විට අලුත් අලුත් ෂර්පයන් දක්නට ඇතත් උන්ෂර්පයන් බව බොහෝ විට හිතන්නේ නැත.

        මේ සීනි කිරිල්ලක් ගැන කථාවකි. අනුන්ගේ සීනි කිරන්න යන්න එපා කිව්වාට සීනි කිරන හැටි බලන් ඉන්න එපායැයි කවුරුත් කියා නැත. සිරිලක ප්‍රසිද්ධ සුපර් මාකට් එකකි. වෙළද සේවකයන් ප්‍රමාණවත්ව නැත. එක්තරා පොරක් සීනි කිරයි. බෑග් එකකට සීනි දමා තමාට අවශ්‍ය ප්‍රමාණය ලැබෙන තුරු බෑගයට අත දමමින් ටිකින් ටික සීනි අයින් කර සීනි ඇති පෙට්ටියට දමයි. ඔබ ගෙදර ගෙනයන්නේ මේකා අත දදා අයින් කළ සීනිය. කවුරුත් හිතන්නේ සුපර් මාකට් වල ඇත්තේ ඉතා සුපිරිසිදු සීනි බවය.

ඒ සුපර් මාකට් වල සීනි කිරන හැටිය. මේ ගමේ කඩේ සීනි කිරන හැටිය. සීනි කිරන්නේ මුදලාලිගේ නෝනාය ග්‍රොසරි බෑග් එක වහුන් අරින්නේ කටින් පිබලාය.  මුදලාලි නෝනලාගේ කටටද නිවනක් නැත. කටේ ශබ්ධය වගේම නිතර කටගැස්මක්ද ඕනෑය.ලුණු පොලිකට්ටේ හෝ ඇගිල්ල දමා කටේ දමා ගන්නේ මේ වගේ අයය. එතුමිය සීනි කිරයි. කඩේට ආ මිනිසුන් සමග කියවමින් වල් පල් ශබ්ධ නගා කථා කරයි. මුව වැස්මක් නැත. තරාදියේ ඇති සීනි බෑග් එකයි කටයි අතර දුර අඩියකට ටිකක් වැඩිය. සීනි කිරන අතර වාචාල කථාවෙන් නොනැවතී අර සීනි බෑග් එකටම අත දමා සිනි ටිකක් තටේද  දමා ගත්තාය. සීනි ගත්ත මනුෂ්‍යයා ගෙදර ගෙනයන්නේ මුදලාලි නෝනාගේ කෙළත් සමගය. කාන්තාවකගේ කෙළ සමහරුන්ට අපුල නැතත් කෙළ සමග එන කොවිඩ් ෂර්පයාට අපුල විපුල කමක් නැත.

දිනක් සුපර් මාකට් එකකට ගොස් බඩු දමා ගැනීමට ට්‍රොලියක් ගත්තෙමි. ටොලිය ලබාගැනීමට පෙර ආරක්ෂක නිලධාරියා විසින් කිසියම් දියරයක් යන්තමින් හැඩලයට ඉසී. නිකම්ම දෙනවාට වඩා ඒකත් හොදය. ඒහෙත් ටොලිය තුළ සිටි ෂර්පයා  කිසිවෙක් දුටුවේ නැත.ඒ පාවිචිචි කළ මුව වැස්මකි. එතන සිටි ප්‍රධානියෙක් යැයි කිවහැකි කෙනෙකුට මේ බව කිව්වෙමි. ඔහු විසින් මාක්ස් එක අතට ගෙන එම ටොලිය කිසිදු විෂබීජ හරණයක් නොකර භාවිතාවට එක් කලේය. මම බලා සිටියෙමි. කාන්තාවක් එම ටොලිය ගෙන බිස්කට් යෝගට් ආදිය පටවා ගත්තාය. නෝනා ගැනත් එයාගේ ගෙදර අය ගැනත් දුක හිතුනාට කරන්න දෙයක් නැත. මට පසුව සිතුනේ විශාල වගකීමක් පැහැර හැරි බවයි.

දැන් වෙළදම් කරන වැඩි දෙනෙක් මාක්ස් දමන්නේ නැත.පාමසි වල සමහර නෝනලාද එහෙමය. කවුරි හරි ඒගැන මතක් කළොත් කටින් නොව ඇස් වලින්ම මරා දමා හමාරය. ඒ මනුෂ්‍යයා ගිය පසු එතන සිටින අනෙකුත් අය සමග එකතු වී මාක්ස් එකක් නැති බව මතක් කළ මිනිහාගේ පතුරු අරී. බොහෝ කඩවල පාන් ආදිය තබන්නේ කවුන්ටරය උඩය.කඩේ උන්ගේ කෙළත් කඩේට එන වුන්ගේ කෙළත් පාන් වලය. බුලත් විටක් ඉල්ලුවත් පොඩි එකෙක් ටොපියක් ඉල්ලුවත් අර දෙනෝදාහක් අතපත ගාන කවුන්ටරය උඩටම දමයි. මුන්ට අනුව දැන් කොරෝනා ගානක් නැති බව කියයි.එහේත් දිනපතා කොරෝනාවට යටවන මුදල් කන්දරාව ගැන හෝ ඒසදහා දිවි නොතකා මහන්සි වෙන කාර්යය මණ්ඩල ගැන හෝ කොරෝනාවෙන් ආදායම් මාර්ග,රැකියා අහිමිව ජීවත් වෙන්නට මගක් නැති මිනිසුන් ගැන හෝ මුන්ට වගේ වගක් නැත.

        කඩයකට ගොස්, කලින් ආපු මනුෂ්‍යාට බඩ ගන්න ඉඩදී දුරස්ථභාවයද ආරක්ෂා කරමින් රැදී සිටියෝත් පස්සේ එන එකෙක් ඉස්සරහට පැන බඩු ලබා ගන්නේ මහා වීරකමක් කළ හැටියටය. ඒ අපේ සමහරක්ගේ හැටිය.කථා කළොත් කෙළගන්ඩ සිදුවන එකනම් ටක්කෙටම සුවර්ය.

        පාමසි ගැනද වෙනම කථාවක් ඇත. මාක්ස් දමා නැති නෝනලා එහේන් මෙහෙන් හිටියා වැඩි දෙනෙක් මාක්ස් දමා සිටී. එහේත මාක්ස් එක අතගගා හෝ මාක්ස් එකට යටින් අතදමා නහය කට පිස දමමින් බෙහෙත් දෙන අයද ඇත.පාමසි වල නෝනලා ලස්සන වුනාට වැඩ ලස්සන නැත. මෙහෙම ලියන්නේ පසුගිය දිනක පුද්ගලික පාමසියකදී සහ සුපර් මාකට් පාමසියකදී අත්දුටු දේය. කොවිඩ ෂර්පයාට නෝනා ලස්සනද සුන්දරද යන්න ගැන තැකීමක් නැත.

      මෙතෙක් ලිව්වේ එක එකාගේ මස්තබාදු ගැන ගුණ දොස්ය. ඒකත් නැන්දම්මා ලේලි හබය වගේය. ඉවරවෙන දිනක් නැත. ඒ කෙසේ වෙතත් සෞඛ්‍ය වත්පිලිවෙත් අනුව ඉතා සැලකිල්ලෙන් තම කටයුත්ත ඉටු කරන වෙළද මහත්වරු සහ නෝනලා නැතිවාම නොවේ. අතලොස්සක් පමණ වූ ඒ අයට හිස නමා ආචාර කරමි.  අනිත් වුන්ටනම් කළ යුත්තේ කුමක්ද යන්න සිතා ගැනීමටවත් බැරිය.ඒ ඔබට බාරය.

        අපි කවදා හෝ කොවිඩ් ජය ගන්නෙමු. ඒ ජයග්‍රහණයන් පමා වන්නේද මෙවැනි අමනයන් නිසාය.

 

 


Wednesday, 24 March 2021

ලේ උරාබොන ජංගම දුරකථන තවත් මරාලයක්.


        මෙය නිකම්ම නිකම් මරාලයක් නොවේ. ඩ්‍රකිව්ලා පන්නයේ මරාලයකි. එසේත් නැත්නම් මාපිලා පන්නයේ මරාලයකි. ඩ්‍රකිව්ලා ලේ බොන විටත් මාපිලා ලේ බොන විටත් සනිපයට නින්ද යයි. ඒ වගේම දුරකථන සමාගම් විසින් අපට සැප නින්දක් ලබාදෙයි. අපේ ලේ උරා බී ඇති බවට අපට වගේ වගක් නැත. මෙම කථාවද ඒ වගේමය.


        මෙහි ඉහත පලවන්නේ මා වෙත සේවා සපයන සුප්‍රසිද්ධ දුරකථන සමාගමකින් මා ලබාගන්නා දුරකථන සේවාව සදහා 2021.03.03 දින ලබාගත් භාවිතාව පිළිබද උපුටනයකි. වෙනත් මාස වලට සාපේක්ෂ්ව මෙම මාසයේදී මවිසින් ලබාගත් ඇමතුම් ප්‍රමාණය ඉතා සීමිත විය. නමුත් භාවිතාව පිළිබද දිනපතා හෝ දින දෙකතුනකට වරක් අදාල සමාගමෙන් ලැබෙන එස්එම්එස් පණිවිඩය පරිදි මගේ දින 23 ක බිල රුපියල් 850.29ක් විය. මෙම භාවිතාව පිළිබද තවදුරටත් පරික්ෂා කළ අතර මා ලබාගෙන ඇත්තේ රුපියල් 333.78 ක දුරකථන ඇමතුම් පමණි. ඉතිරි රුපියල් 516.51 ම මවිසින් ලබාගත් ඇමතුම් සදහා හෝ මගේ ඉල්ලීම පරිදි ලබාගත් සේවාවන් සදහා නොවේ. මේ පිළිබදව අදාල ආයතනයෙන් විමසු අතර ඔවුන් විසින් පවසන ලද්දේ ස්වයංක්‍රියව ක්‍රියාත්මක වූ පහසුකම් සදහා එම මුදල අයකළ බවයි.

        මා විසින් එවැනි පහසුකම් ඉල්ලා නැති බව අවධාරණය කළ අතර එවිට ඔවුන් විසින් දන්වා සිටියේ අදාල පහසුකම් අද දිනයේ සිට ක්‍රියාත්මක වීම නවතා දමන බවයි. මෙවැනි ගසාකෑම් ස්වයංක්‍රියව ක්‍රියාත්මක කිරීමටත් විරෝධයක් පලවූවිට නවතා දැමීමටත් හැකිනම් මෙවැනි ක්‍රියාවන් නිර්ලජ්ජිත ලෙස අහිංසක මහ ජනතාව ගසා කෑමක් නොවන්නේද? මේවැනි ක්‍රියා සම්බන්ධව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් රජයේ වෙනත් බලධාරිනුත් නිහඩව සිටින්නේ මෙලෙස ගසාකන මුදලින් රජයටද අමතර  බදු මුදලක්ද එකතු වන නිසා නොවන්නේද?

        රුපියල් දෙදහසකට වැඩි මුදලක් මා භාවිතා කරන එකම පසු ගෙවුම් පැකේජය සදහා සෑම මසකම දුරකථන ගාස්තු වශයෙන් ගෙවනු ලබයි. ඒ අනුව මා මෙතෙක් ගෙවන ලද මුදලින් කොපමණ මුදලක් අදාල ආයතනය විසින් ගසාකා ඇත්තේද? මා විතරක් නොවේ ඔබ සැවොම මෙම ගසා කෑමට ගොදුරු වී තිබිය හැක

        අහස උසට බඩුමිල ඉහළ නැග ඇති අවස්ථාවක, රටපුරා පමණක් නොව ලොව පුරා පැතිර පවතින වසංගත තත්වයක් යටතේ මිනිසුන්ගේ ආදායම් මාර්ගයන් අවහිරවී ආර්ථික වශයෙන් ඉමහත් දුෂ්කර තත්වයකට පත්ව ඇති අවස්ථාවක, ලෙඩට දුකට නියමිත ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිවීම මත ඇතැම් මිනිසුන් මියයන අවස්ථවක ජනතාවට සහන සැපයීම වෙනුවට වංචාකාරි ලෙස. නිර්ලජ්ජිත ලෙස  මිනිසුන් ගසාකෑම නතරකර දමන ලෙසත් මෙතෙක් මෙලෙස ගසාකන ලද මුදල් නිසි පරිදි ගණනය කර ඉදිරි බිල්පත් වලට හිලව් කිරීමට කටයුතු කරන ලෙසත් ඔබත් අපත් අප සැවොමත් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිය යුතුය.

        මෙම අකටයුත්ත මට සිදු වූවාට පසු මා මේ පිළිබදව අන්තර්ජාල පරික්ෂාවක් කරන ලද අතර නාගානන්ද කොඩිතුවක්කු නම් නීති‍්ඥ වරයෙකු විසින් කරන ලද යුටියුබ් වීඩියෝවක් හමුවිය. https://youtu.be/EFnkxfmP_po මෙම ලින්ක් එකෙන් එම වීඩියෝවද නැරඹිය හැකි අතර මා මෙම අවස්ථාවට මුහු ණදෙන තෙක්ම එවැනි වීඩියෝවක් පිළිබද මා දැනුවත්ව නොසිටි බවත් නාගානන්ද කොඩිතුවක්කු මහතා සමග මගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් අවධාරණය කරමි. මා කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන බවත් කිසිදු දේශපාලන කටයුත්තක නිරතව නොමැති බවත්, මා විසින් දැනට කරගෙන යනු ලබන ඇතැම් සේවාවන් මත දේශපාලන අයිතිවාසිකම් භුක්ති විදීමට හැකියාවක් නොමැති පුද්ගලයෙකු බවත් වැඩි දුරටත් අවධාරණය කරමි. එහේත් අසාධාරණයට එරෙහිව කටයුතු කිරීමට මට අයිතියක් ඇති බවද සටහන් කරනු කැමැත්තෙමි
 
 
 

බැංකු පොලියට අරියාදුවක්.....

  ඔන්න තවත් මරාලයක් පාත්වෙලා. බැංකුවෙ තියෙන තැන්පත් වලට ලැබෙන පොලියෙන් සියයට දහයක් රදවා ගැනීම් බද්ද කපනවලු. හැබැයි තමාගේ මාසික ආදායම රුපියල්...