Thursday, 9 January 2025

බැංකු පොලියට අරියාදුවක්.....

 


ඔන්න තවත් මරාලයක් පාත්වෙලා. බැංකුවෙ තියෙන තැන්පත් වලට ලැබෙන පොලියෙන් සියයට දහයක් රදවා ගැනීම් බද්ද කපනවලු. හැබැයි තමාගේ මාසික ආදායම රුපියල් ලක්ෂ එකහමාරකට  අඩුයි කියලඔප්පු කළොත් කපාගත්ත බද්ද ආපසු ගෙවනව විතරක් නෙමෙයි ඉදිරියේදි කපන්ඩ එපයි කියල අණ කරණ ඩිරැක්ෂන් එකක්ද මොකක්ද දෙනවලු. ඉතින් කව්ද මේ ඩිරෙක්ෂන් එක දෙන්නෙ. දෙයි හාමුදුරුවන්ට ඔප්පු වෙච්චාවේ දැන් ඉතින් යන්ඩ එපායැ ආදායම් දෙපාර්තමේන්තුවෙ කන්තෝරුවකට.

ඉතින් මේ තැන්පතු තියෙන හැම කෙනෙක්ම කොහොමද අප්ප කන්තෝරුවලට යන්නෙ. ඇවිදගන්න බැරි, ලෙඩදුක් තියන, වයසට ගිය කොච්චරනම් මිනිස්සු තම ජීවිත කාලය තුළ උපයගත්ත සොච්චම් මුදලක් බැංකුවකට දාල ඒකෙ පොලියෙන් ජීවත්වනවද? මේ වගේ උන්දල බොහෝ වෙලාවට ඉන්නෙ හුද කලා වෙලා. ඒ මදිවට රේඩියෝ එකේ හරි ටීවී එකේ හරි පත්තරයක තියන දෙයක් හරි කියවල මේ කතන්දරේ දැනගන්න බැරි අය කොච්චරනම් ඉන්නවද? ඒ මොකක් හින්දවත් නෙවෙයි හරියට කන් ඇහෙන්නෙ ඇස් පෙනේනනෙ නැති නිසා.ඒ වගේම පුංචි මුදලක් තියන මිනිහෙක් මේකට යයිද? රස්තියාදු වෙන්න බැරි හින්දම නොසලකා හරිනව. ඒ මනුෂ්‍යයට ගෙවන පුංචි රුපියල් දහෙයෙනුත් රුපියලක්ම අය කරනවනෙ. ඒ අසරණයට ඒක පුංචි මුදලක් වුණත් මේ වගේ පුංචි පුංචි මුදල් වලින් රජයට කොච්චරනම් ආදායම් ලැබෙනවද? පව් අර අහිංසක මිනිස්සු.

තව එකක්. අපි හිතමු ඔය ගිණුම් තියන මිනිස්සු ඔක්කොම ටික ඔය කන්තෝරුවලට ගියා කියල ඔය ඩිරක්ෂන් එක කියන එක ගන්ඩ. එතකොට කන්තෝරු ගාව කොච්චරනම් තද බදයක් තියෙයිද? තැන්පත් කරුවන් මිලියන හයක් ඉන්නව කියල මහ බැංකවෙන්ම කිව්ව වගෙත් මතකයි. අපි දන්නවලේ රජයේ කන්තෝරුවල කාර්යක්ෂම තාව ගැනත් ඒවයෙ ඉන්න කාර්යය මණ්ඩල ගැනත්. ඇත්තටම ඔය බදු දෙපාර්තමේන්තුවට ඔය වගේ වැඩක් කරන්න ප්‍රමාණවත් කාර්යය මණ්ඩලයක් ඉන්නවද? ඒව ගැනත් හිතන්න ඕනැ නේද ආයුබොවන්. තාමත් අර ටින් එකවත් හරියට දී ගන්ඩ බැරුව ගියා කියමොකො.ඔන්න ඕක ගැන හිතපු රජයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසි මහත්තයෙක් සිතුවම් කරපු කාටුනයක් මටත් එවල තිබුණ. ඒකත් දැකලම තමයි මේ සටහනත් ලිව්වෙ. ඔන්න ඔයාලට බලාගන්ඩත් එක්කම ඒකාටුනයත් ඉහතින් ඇති.

  ඉතින් ඔය ඩිරක්ෂන් එක ගන්න මිනිස්සු කන්තෝරුවලටම යන්න ඕනැමද? අපි කථා කර්න්නෙ ඩිජිටල් ලෝකයක් ගැන නොවෙයිද? ඔය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනවයි කියන RAMIS කියන වැඩ සටහන මගින්වත් මේකට විකල්ප විසදුමක් නැද්ද? ඒ වැඩසටහනින් පුළුවන්ලුනෙ ඕනෘම පුද්ගලයෙක්ගෙ සියළුම බැංකු ගිණුම් ගැන තොරතුරු ලබා ගන්නත්.

ඉතින් මේ කරුණු ගැන නිසි බලධාරින්ගෙ, විශේෂයෙන් ජනාධිපති සහෝදරයගෙ අවධානයට යොමුවෙලා මොකක්හරි පහසු ක්‍රියා මාර්ගයක් අනුගමනය කරයි කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ.


Monday, 14 October 2024

1990 සුව සැරිය ගිලන්රථ සේවය


ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක 1990 සුව සැරිය ගිලන්රථ සේවය ඉතා විශිෂ්ඨ සේවාවක් ශ්‍රි ලාංකික ජනතාව වෙත සපයනු ලබයි. මෙම සේවාව දැනට ක්‍රියාත්මක වන්නේ ආසන්නතම රජයේ රෝහල සදහා යාමට පමණි. බොහෝ අවස්ථාවල රෝගියා සායනික රෝගියෙකුනම් ප්‍රතිකාර ගෙන ඇත්තේ වෙනත් රජයේ රෝහලකින් හෝ පෞද්ගලික රෝහලකින් විය හැක. එවැනි  අවස්ථාවල ආසන්නම රෝහල ලෙස සළකා වෙනත් රෝහලකට රෝගියා ගෙන ගියහොත් ප්‍රතිකාර ලබා දීමේ යම් ව්‍යාකුල තත්වයක් ඇති විය හැක.

තවද රෝගියෙකුට ඇති පෙර අත්දැකීම් අනුව ආසන්නම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට ඔහු බිය විය හැක.මෙවැනි අවස්ථාවලදි රෝගියාට යම් අසාධාරණයක් සිදුවිය හැක.මෙවැනි තත්වයන් පිළිබද නිසි බලධාරින්ගේ අවධානය යොමුකර රෝගියා කැමති රජයේ හෝ පුද්ගලික රෝහලක් වෙත යාමට පහසුකම් සැලසෙන පරිදි මෙම සේවාව වැඩි දියුණු කරන්නේනම් එය වඩාත් ප්‍රශස්ථ සේවාවක් බවට පත්වනු ඇත.

ඉහත පරිදි රෝගියා කැමති රෝහලකට ගෙන යාමේදී ගමන්කරන දුර ප්‍රමාණය සදහා කිලෝ මීටරයට යම්කිසි මුදලක් අය කිරීම පිළිබද එසේ මනාපය ළුලකරන රෝගියාගේ භාර කරුවන් කිසිසේත් විරුද්ධ නොවනවා පමණක් නොව එය රජයට කිසියම් ආදායම් මාර්ගයක්ද විය හැක.









 

Thursday, 23 February 2023

ලෙඩ්ඩුන්ගෙත් ලෙඩ්ඩු.....

 


දිනය 2023 පෙබරවාරි මස 23. කොළඹ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙකු බැලීම සදහා ගියෙමි. වාට්ටුවට ඇතුළු විය නොහැක. පාස් එකක අවශ්‍යතාව සෙකුරිටි මල්ලී විසින් තදින්ම කියා සිටියා. පසුව රෝගියා බැලීමට පැමිණි නිවෙස් අයෙකුට කථාකර ඔහුව කැදවා ඔහු අත තිබු පාස් එකත් රැගෙන රෝගියා බැලිමට යාමට හැකිවිය. එනිසා අද කථාව රෝගියෙකු බැලීම සදහා රෝහලකට යාම ගැනය. මේකත් එක අතකින් මාර මරාලයකි.

රොහල් ගතවු මනුෂ්‍යෙයක් රෝගීන් බලන වෙලාව ලංවූ විට ඔහු බලා සිටින්නේ ඔහුගේ සුවදුක් බැලීමට පැමිණෙන්නේ කව්ද කියාය. එම අවස්ථාවේදි ඔහුගේ මිතුරෙකු ඥාතියෙකු අසල්වැසියෙකු දැකීම ඔහුට රසදුනකි. එමෙන්ම ඉමහත් මානසික සුවයකි. මේ නිසාම ඔහුගේ රෝගි තත්වයෙන්ද යම් සහනයක් ඔහුට ලබාගත හැකිද යන්නද සිතා බැලිය යුත්තකි. එමෙන්ම අමුත්තන් පැමිණිම නිසා කිසියම් ආර්ථික ලාබයක්ද බොහෝවිට සැලසේ. අඩුම වශයෙන් බිස්කට් පැකට් එකක් හෝ රැගෙන රෝගියෙකු බලන්න යාම ලංකාවේ කාරුණික මිනිස්සුන්ගේ සිරිතකි. සෙකුරිට මල්ලි ඉන්නේද රෝගින් බලන වේලාව තුළ පමණි. රෝගින් බලන වේලාව අවසන් වූ පසු වාට්ටුවට එන උන්ට බුරන්න බල්ලෙක්වත් නැත.

එමෙන්ම වචී පරමලාටනම් පාස් එක මරුම මරු සම්පතකි. රෝගියා බැලීමට නොයාමට එය ඔවුන් ලැබූ වරප්‍රසාදයකි. අන්තිමට කියන්නේ අයියෝ මචන් මේ පාස් මගුලක් හින්ද උඹව බලන්නවත් එන්න බැරි වුණා කියාය. මේ වගේ නරුමයන්ද අප අතර නැත්තේ නොවේ.  අවශ්‍යතාවක් තිබේනම් තමාගේ රෝගියා බැලීමට පාස් මගුලක් අවශ්‍යම නැත. අවශ්‍ය වන්නේ මොලය පාවිච්චි කිරීම පමණි.

ඇතැම් වාට්ටු වලට අමුත්තන්ගේ පැමිණිම පාස් එක මතම සිදුකිරිමද අත්‍යවශ්‍ය බවට තර්කයක් නැත. හදිසි අනතුරු වාට්ටුවලට එම අවශ්‍යතාව දැඩිලෙස ක්‍රියාත්මක කිරිම නම් අවශ්‍යමය. එවැනි සීමාවන් නොමැතිනම් රෝහල් ගත කර සිටින තුවාලකරුවෙකු මරා දැමිමට වුවද විරුද්ධවාදියෙකුට කළ හැක. එහෙත් සාමාන්‍ය වාට්ටුවල ට මෙම සීමාවන් යෙදීම අවශ්‍ය වන්නේ කුමන කාරණා නිසාද යන්න තේරුම් ගැනීම පහසු නොවේ. අද යුධ බියක්ද රට තුළ නැත.

පාස් එක හොයන වුන් මාස්ක් එක බලන්නේ නැත. කොරෝනා ඇතත් නැතත්, වයිරස් උණ සෙම්ප්‍රතිස්සා ඇතත් නැතත්, පාස් එකක් වෙනුවට මාස්ක් එකක් අනිවාර්ය කිරීම රෝගින්ගේත් කාර්යය මණ්ඩලයේත් අමුත්තන්ගේත් සුඛ විහරණය සදහා නොවන්නේද? අපේ රටේ මිනිස්සුන්ට ඇත්තේ සම්ප්‍රදායෙන් ඉවත්වීමට ඇති අකැමැත්තයි.

අද රෝහල්වල බෙහෙත් නැත. ජොලියට කරන අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම නැත. නේවාසික රෝගින්ට කෑම බීම ලබාදිමට මේ අසරණ රටේ ආණ්ඩුවට මහා බරකි. එවැනි අවස්ථාවක සුදුළූණු බිකක් හෝ රැගෙන එන අමුත්තෙකු වැලැක්වීම මොනතරම් කරුමයක්ද? තමන්ගේ බඩ ගෝස්තරයට වදින විට පමණක් කෑමොර දෙන අහිංසක රෝගීන් ගැන කිඹුල් කදුළු හෙලන රෝහල් බලධාරිණි, මේ ඔබේ අවධානයටයි.

Monday, 22 August 2022

කොරෝණා ණය සහනයෙන් කොරවු අසරණයෝ.......


 ඔබ බැංකුවකින් හරි එහෙම නැත්තන් මොකක් හරි මුල්‍ය ආයතනයකින් හරි ණය මුදලක් අරගෙන තිබුණද? ඔබ පව් කියල අනුකම්පා කරල කොරෝනා වෙනුවෙන් 2020 වර්ෂයෙදි සහනයක් එහෙම ලැබුණද? එහෙම සහනයක් දුන්නනම් ඒක දුන්නෙ ඔබේ අනුමැතිය යටතෙද? එහෙමනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබ අනුමැතිය ලබා දුන්නෙ ඕන කට්ටක් කන්ඩ එකග වෙලානෙ,

ඒත් ඔබේ අනුමැතිය නැතිවත් ඔයා හොදටම පවු කියල අනුකම්පා කරල සමහර බැංකු ඔබට සහනයක් දුන්න එකගැන නම් සමහර වෙලාවට ඔබ සතුටු වෙන්ඩත් ඇති. ඒත් මේ සහනය අසහනයක් වෙලා ඔබේ හිසමත කඩා වැටුණු බවවත් ඉදිරියේදි කඩා වැටිමට නියමිත බවවත් ඔබ නොදන්නවත් ඇති. ඒ නිසාම මේ සංගෙඩිය ගැන මොනවහරි ලියන්ඩ ඔනැ කියල හිතුණ නිසා තමයි මේ සටහන ලියන්නෙ.

2020 අප්‍රියල් , මැයි සහ ජුනි මාස වලත් ඊට පස්සේ සමහර විට තවත් මාස කීපයක් සදහාත් ඔබේ ණය වාරිකය නොකපා ඔබට සහනයක් දෙන්න ඇති.ඒත් මෙම සහනය නැවත අයකර ගැනීමේදි විවිධ ආයතන විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කළා. ඒ ක්‍රම හැම එකකින්ම ණය කරු අපහසුවට පත්වුවත් හොදටම අසරණ ණයකාරය සූරාකාපු අන්ත අසාධාරණ තුච්ච ක්‍රමයක් ගැනයි මේ හෙලිදරව්.

මෙන්න මෙහෙමයි ඒක කළේ. අපි හිතමු ඔබේණය මුදල නියමිත වාරික ගණන ගෙවා අවසන් කරල 2022 අප්‍රියල් මාසයේ වාරිකයෙන් පසු අවසන් විය යුතුව තිබුණ කියල. ඔබට සහනයක් වශයෙන් මාස තුනක් ණය වාරික අය කරල නැහැ කියලත් හිතමු. ඒ් අනුව තවත් මාසතුනක් ඔබේ ණය මුදලට අදාල අය නොකළ වාරික අයකළොත් ජූලි මාසයේදි ඔබේ ණය මුදල අවසන් විය යුතුයි. ඒහෙමත් කරල සමහර බැංකු කාරයො කළේ ණය මුදල අවසන් වූ දිනය දක්වාම ඔබට පොලියක් එකතු කිරීමයි. ඉහත උදාහරණය අනුව ඔබේ ණය වාරිකය 15000 නම් අයනොකළ වාරික තුනේ වටිනාකම රුපියල් 45000 නම් තවත් රුපියල් 20000 ක පමණ මුදලක් පොලිය වශයෙන් අය කරනව.යම් කිසි කෙනෙක් ලබාගත් ණය මුදල තවත් අවුරුදු 6ක් ඉදිරියට ගෙවිය යුතුනම් ඒ අවුරුදු 6 ටම පොලි අයකරන්ඩ තමයි ක්‍රමය සකස්කර තියෙන්න.

ඔබත් මේ මරාලෙට අහු වුණානම් ටිකක් හිතල බලන්ඩ දැනටමත් ඔබ ප්‍රමාද නැහැ. කොහොම වුණත් ඉල්ලපු නැති සහනයක් ඔබට ලබා දෙන්න බැංකුකරුවෙකුට කිසිදු හැකියාවක් නැහැ. එහෙම සහනයක් ඔබට දුන්නනම් ඔවුන් කරල තියෙන්නෙ ඔබට බලවත් අසාධාරණයක්. මෙම අසාධාරණයට විරුද්ධව ඔබට ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණිලි කරන්ඩත් පුළුවන්.

මෙම උගුලට වැඩියෙන්ම අහුවෙලා තියෙන්නෙ විශ්‍රාමික ණය කරුවන්. බැංකුකාරයො  හිතන්නෙ විශ්‍රාමිකයො කියන්නේ මුකුත් නොතේරෙන බබ්බු කියල. බූරුව කුට්ටමේ ලොකුම එකාගෙ නමට සම්බන්ධ නමක් තියන ආයතනයක නිලධාරියෙක් මේ ලගදි විශ්‍රාමිකයෙකුගෙන් අහල තියනව තමන්ගේ මාසික විශ්‍රාම වැටුපට වැඩි මුදලක් ගන්න කොට ණය වාරිකය කපල නැද්ද කියල දැනගත්තෙ නැද්ද කියල. මේකත් හතරබීරි කථාවක්. ඇයි විශ්‍රාම වැටුපට වැඩි මුදලක් ඔහුගෙ ගිණුමෙ තියෙන්ඩ බැරිද? බැංකුවල ඉන්න උගත් මහත්තුරුන්ට ඒව තේරෙන්නෙ නැද්ද?

මේ සම්බන්ධව ඔබේ අත් දැකීම් අදහස් උදහස් යෝජනා අගය කරමි. මේ කාරණාව සම්බන්ධව තවත් දේ ඉදිරියේදි ...... ආයුබෝවන්....

 

 

 

 

Monday, 15 August 2022

විශ්‍රාමිකයා වල පල්ලට යැවූ බැංකු ණය.

 


විශ්‍රාමික ප්‍රජාවට මාර මරාලයක් වූ බැංකු ණය....

නවතම සංඛ්‍යා ලේඛණ අනුව ශ්‍රී ලංකාවේ විශ්‍රාමික ප්‍රජාව ලක්ෂ  හතකට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාමික වැටුප සදහා මාස වලට අය කරන මුදල මිලියන 24000 ක් පමණ වේ.

විශ්‍රාමික ප්‍රජාවට මාසිකව ගෙවනු ලබන මෙතරම් විශාල මුදලක් පිළිබඳව ව්‍යපාරික ප්‍රජාවගේ උකුසු ඇස් යොමු වූ අතර ඔවුන් ඉතා සූක්ෂම ලෙස අදාල බලධාරීන්ද අවනත කර ගනිමින් විශ්‍රාමිකයන් නගාසිටුවීමට යයි කියා ණය මුදල් ප්‍රදානය කිරීම 2014 වර්ෂයේ දී පමණ ආරම්භ කරන ලදී.

විශ්‍රාමිකයන් පිළිබඳ රාජ ආයතන වලින් ලබාගත් තොරතුරු ආශ්‍රයෙන්  නොයෙකුත් වැඩමුළුවට ගෙන්වා ණය මුදල් ලබා ගැනීමට අවනත කරගෙන ඇත. මුල් අවස්ථාවේ දී සියයට දාහතරක පොලී අනුපාතයට ලබාදුන් රුපියල් මිලියනයක සිමාවට යටත් ණය මුදල විශ්‍රාමිකයා අවුරුදු 70  සපිරීමට පෙර අය කර ගත යුතු විය.

නිලධාරියෙකු විශන්නේ ඔහුට වයස අවුරුදු 60 සපිරුණු විට තවදුරටත් කාර්යක්ෂම සේවාවක් ලබාගත නොහැකිය යන පූර්ව නිගමනය මත පිහිටාය. එහෙත් අවුරුදු 60 සපිරුණු අයෙකුට ව්‍යයාපාර ආරම්භ කිරීමට ණය ලබාදීම in විරෝධී කටයුත්තකි. මෙම ණය බොහෝ අවස්ථාවල විශ්‍රාමික විසින් ලබාගෙන ඇත්තේ තම දූ දරුවන්ගේ හෝ ආසන්නතම ඥාතීන්ගේ ඇවටිල්ල මතය. විශ්‍රාමික අඩකටත් වැඩි වැඩි ප්‍රමාණයක් ණය වාරික වශයෙන් ගෙවීමට සිදුවී ඇති අතර අද ඔවුන් පත්ව ඇත්තේ කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකටය.

විශ්‍රාම වැටුපෙන් ඉතුරු වන සොච්චමි මුදල ජීවිතය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවීම නිසා අද ඔවුන් ඇතැමෙක් පුද්ගලික ආරක්ෂක සේවාවන්, පිරිසිදු කිරීමේ සේවාවන්, සහ උපස්ථායකසේවාවන් වල නිරතවෙමින් ඉතාමත් දුක්ඛිත ලෙස ජීවත් වේ. ඇත්තෙන්ම එක් වැඩිහිටි නිවාස වල ද සරණ පතා ඇත.

මෙලෙස ණය මුදල් ලබාගත් විශ්‍රාමිකයන් වෙත අත්තනෝමතික ලෙස බැංකු විසින් පවරනු ලබන පීඩනයන් පිළිබඳව ඉදිරි සටහන්වලින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන අතර මෙම සටහන පෙර වදනක් ලෙස සැලකෙන මෙන් ඉල්ලමි.

ඊළඟ සටහනින් කොවිඩ් සඳහා දුන් ණය සහනය; බැංකු කරුවන් විසින් සහනයක් නොව අසහනයක් බවට පත්කර විශ්‍රාමිකයන් ගසාකන ආකාරය ගැන තොරතුරු ඉදිරිපත් කිරීමට අදහස් කරමි

මේ සම්බන්ධව ඔබේ අදහස් උදහස් යෝජනා ඇතොත් දන්වන්න.

 

 

 

 

Wednesday, 18 August 2021

කොරෝනා හැදිල අමාරු වුණා, රෝහාලට ගියා භාර ගත්තෙ නැහැ, දෙවියන්ටම ඔපුපු වෙච්චාවේ.....

මේ අද උදේ සිදුවුණු දෙයක්. ශ්‍රී ලංකාවේ කොරෝනා ගැන කප් ගහපු දිස්ත්‍රික්කයක රා වලට එදත් අදත් ප්‍රසිද්ධ ඒ නිසාම නමක් හදාගත්ත ප්‍රදේශයක  එක් නිවසක නිවැසි සියළු දෙනාම කොවිඩ් ආසාධිතයන් බවට පත්වෙනව. මේ හැම දෙනාම එකිනෙකා රැක බලා ගනිමින් නිවසේ පසුවෙන්නේ බලධාරින් විසින් නිවාසවල රදවා ප්‍රතිකාර කිරීමේ වැඩ සටහන යටතේ ලියා පදිංචි කරගෙන නොවෙයි. පළමු ආසාධිතයා වාරතා වී අදට දින අටක් ගතව ඇතත් තවමත් එම නිවස ලියාපදිචි කර නැහැ. ආසන්නතම සෞඛ්‍ය බලධාරි තුමා ඔවුන්ට පවසා ඇත්තේ අවශ්‍යතාවක් උණොත් ලගම ඇති රෝහලට තමන්ගේ වාහනයෙන් හෝ යන ලෙසයි.

අද උදෑසන එක් අයෙකු තුළ දක්නට ලැබුණු අසාමාන්‍ය රෝග ලක්ෂණයක් නිසා එක්තරා රෝහලකට මෙම රෝගියාව අරගෙන යන්නේ ආසාධිතයාගේ අසාධිත ස්වාමි පුරුෂයා විසින් තම වාහනයෙන්මයි. එම රෝහලේ වෛද්‍යවරයා පවසා ඇත්තේ ඇන්ටිජන් හෝ පීසීආර් වාර්තාවක් නොමැතිව භාරගත නොහැකි බවයි. තම භාර්යාව නැවත නිවසට රැගෙන ඒම හැර වෙනත් විකල්පයක් මේ අයට තිබිල නැහැ. මෙතනදි මේ අය කොච්චර අසරණ වුණාද කියනවනම් ඇත්තටම අසරණ වෙලා.

මෙම තත්වය අද බොහෝ අයට මුහුණ දෙන්න වෙලා තියන දෙයක්. ඇන්ටිජන් / පීසිආර් පවත්වල කලින් විධියට කැන්දගෙන ගිහිල්ල රෝහලක හෝ අතරමැදි ප්‍රතිකාර ස්ථානයක නවත්වනවනම් මෙවැනි ගැටළු ඇතිවෙන්නෙ නැහැ.ඒත් අද එහෙම කරන්ඩ බැරිබව කවුරුත් දන්නව.

ඒ වගේම අදාල සෞඛ්‍ය බලධාරින්ගේ සීමාවත් පන්නල දැන් ගව් ගණනක් ඈතට ගිහිල්ල. එහෙම තියන අවස්ථාවක කාටවත් දොස් නගන්න බැහැ. ඇත්තටම ඉතාමත් දුෂ්කරතා මධ්‍යයේ එතුමාල කරන කැපවීම කිසිම කෙනෙක් අවතක්සේරු කරන්නත් එපා. ඒත් මේ වගේ ඇතිවන ගැටළු පෙන්වා දුන්න කියල හිත් රිදව ගන්නත් එපා.පීසීආර් කරන ප්‍රමාණය සහ ඒ වෙනුවෙන් යොදවන්න පුළුවන් මිනිස් ශ්‍රමය අනුව හැම කෙනාටම වාර්තා නික්තු කර කර ඉන්නත් බැහැ. ඒත් ඉහත තොරතුරු අනුව දැන් එවැනි වාර්තාවක් කාටත් අවශ්‍ය වෙනව. පුද්ගලික රෝහල්නම් එවැනි වාර්තා නිකුත් කරනව.

නිවසේ ඉන්න ලෙඩෙකුට අමාරු වෙලා දුරකථන වලින් බලධාරින් දැනුවත් කර උපදෙස් ලබාගන්න වෙලාවෙ කරන්න තියෙන හොදම වැඩේ තමයි කරගහගෙන හරි රෝහලට යන එක. ඒ නිසා එම රෝගියාව රෝහලකට භාර ගන්න විධියට වැඩ පිළිවෙළක් සකස් කරල දෙන්න කියලයි මේ අවස්ථාවෙ බුදුන් වදින අත් දෙකෙන්ම වැදල ඉල්ලල සිටින්නේ.

ඒ වගේම අර 1390 යටතේ ලියා පදිංචි කරල උපදෙස් ලබා දීමේ ක්‍රියාවලියෙන් හැම දෙනාටම ප්‍රයෝජන ගන්න සළස්වල දෙනවනම් ඒකත් ලොකු පිනක්.

 

Tuesday, 17 August 2021

පීසීආර් ගන්න ගියෝත්, සිහි වෙනවද දෙවියන්වත් ......




ඉහළම මට්ටමේ සිට පහළම මට්ටම දක්වා සෞක්‍ය බලධාරින් සහ සේවක කාරකාදින් මෙම වසංගත අවස්ථාවේදී කරනු ලබන සේවය කිසි සේත්ම සුළු කොට තැකිය නොහැක. මෙම අවස්ථාවේදී සමාජයේ බහුතරයකගේ කැමැත්ත වන්නේත්, බහුතරයකගේ පැතුම වන්නේත්, කිසිදු පුද්ගලයෙකු ආසාධිතයෙකු නොවේවා යන්නයි.  රෝගීන් වැඩිවීම මත රෝගි තත්වයන් උත්සන්න වීම මත අපමණ වෙහෙසක් ගන්නේත් අපමණ දුක්ඛ දෝමනස්සයන්ට භාජන වන්නේත් තම ජීවිත අවධානමට ලක්කර ගන්නේත් සෞඛ සේවකයන්ය. එසේ වුවත් එතුමන්ලාගේ අවධානයට යොමු නොවූ එසේත් නොමැතිනම් අවධානයක් යොමකර නොමැති කරුණු කීපයක් ගැන අවධානය යොමුකිරීම මෙම සටහනේ අරමුණයි.

           යම් නිවසක අයෙකු ආසාධිතයෙකු බවට සැක පහළ වූ  විට බොහෝ අවස්ථාවලදී ලබාගන්නා ඇන්ටිජන් හෝ පීසීආර් පර්ක්ෂණ මගින් ආසාධිතයෙකු බවට තහවුරු වේ. වත්මන් රෝගය පැතිරීමේ ප්‍රවනතාව අනුව එම නිවසේ අනෙක් අයටද දින දෙක තුනකට පසු රෝග ලක්ෂණ පහළ වේ. සත්‍ය වශයෙන්ම ඔවුන් ආසාධිතයන් බවට පත්වී ඇත. සෞඛ්‍ය නිලධාරින් මේ අවස්ථාව වන විට පවසන්නේ ආසාධිත බව තහවුරු කර ගැනීම සදහා ඇන්ටිජන් හෝ පීසීආර් පරික්ෂණයක් කළ යුතු බවත්, ඒ සදහා සෞක්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ වෙනත් තෝරාගත් ස්ථානයකට පැමිණෙන ලෙසත්ය. දැන් මෙම රෝගින් ඒ සදහා යා යුතුය.එහෙත් පර්ක්ෂණ ස්ථානය පවතින්නේ නිවසට කිලෝ මීටර් කීපයක් දුරිනි.

          ලංකාව වැනි රටක සෑම නිවසකම වාහන නැති අතර බොහෝ අය ගමන් කරන්නේ ත්‍රීරෝද රථ වලනි. වාහන නොමැති එවැනි පුද්ගලයින් තම නිවසේ සාමාජිකයන්ද සමග අදාල ස්ථානයට යාමට සහ ඒමට බොහෝ විට භාවිතා කරන්නේ  කුලි ත්‍රිවිල් රථයකි. දැන් මෙම රථයේ ගමන් කරන ආසාධිතයන් මගින් ත්‍රිවීල් මල්ලිලා මගින් හෝ එම රථයේ ඊටපසු ගමන් කරන අයට හෝ රෝගය බෝ වීමේ අගය බොහෝ ඉහළ මට්ටමක පවතී. ඔය ඇන්ටිජන් හෝ පීසීආර් ගැනීමට යන හැටිය.

        අදාල ස්ථානයට ගියපසු එම ස්ථානයේ ඇති වෙන්නේ තවත් දෙයකි. බොහෝ විට උදේ හත අට පමණ වනවිට කැදවන ලද ජනතාව ඒ  ස්ථානයට පැමිණේ බොහේ විට බලධාරින් පැමිණෙන්නේ නමයට දහයට පමණය මේ වනවිට දිගු පෝලිමක් සෑදී අවසන්ය. දැන් මෙතනට පැමිණ ඇත්තේ ආසාධිතයන්ම පමණක් නොවේ. ආසාධිතයන් බවට සැක සහිත බොහෝ  පුද්ගලයින්ද පැමිණ ඇත. මේ අවස්ථාව වන විට සමාජ දුරස්ථභාව නැත ඇතැම් අයගේ මුව ආවරණ හරියාකාරව නැත කොටින්ම නාසය කට වැසී නැත. කැටුව විත් ඇති දරුවන් හැමතැනම අතගා තම අත් නාසයේ කටේ රුවා ගනි. හැම දෙනාම වාඩි වෙන්නේ එකම පුටුවේය. සමහරු වතුර බෝතලය කූල් ඩ්රින්ක් එක බෙදා හදාගෙන පානය කරයි. විට කන එකා හොදහැටියට විටකින් සප්පායම්වන අතර බුල්ත් කෙළ පහරවල්ද එම ස්ථානවලටම මුදා හරී. මේ අවස්ථාව වන විට ආසාධානය වී නැති සැක සහිත පුද්ගලයින් කී දෙනෙක් මෙම අවස්ථාවට පසු ආසාධනය වුණාද යන්න කිසිවෙක් නොදනී. ඔවුන් බොහෝ විට සමාජයේ සැරිසරණ රෝග වාහකයින්ය. එහෙමත් නැත්නම් රෝගය උත්සන්න වීම නිසා ජීවිත අවධානමට පවා පත්වූවන්ය.

        මෙම පරික්ෂණ වලට පැමිණෙන බොහෝ දෙනා පරික්ෂණයත් කරගෙන තම අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සදහා අසල පවතින වෙළදැසැල්, පාමසි, බැංකු, සහ සුපර් මාකට් වලටද ගොඩ වදී. මෙසේ වන්නේනම් ඇතිවන ප්‍රතිළුලය කුමක්ද යන්න පව සිතාගත නොහැකිය. එබැවින් මෙම රෝගය බෝවීම රෝගය ශීඝ්‍රයෙන් පැතිරයාම වලක්වා ගැනීමේ වගකීම බලධාරින් මෙන්ම මහජනයාද දැරිය යුතුය.
 
 
 

බැංකු පොලියට අරියාදුවක්.....

  ඔන්න තවත් මරාලයක් පාත්වෙලා. බැංකුවෙ තියෙන තැන්පත් වලට ලැබෙන පොලියෙන් සියයට දහයක් රදවා ගැනීම් බද්ද කපනවලු. හැබැයි තමාගේ මාසික ආදායම රුපියල්...